ප්‍රවීණ නළු ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වේ.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා ඊයේ (11) සන්ධ්‍යාවේ එම රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට 56 වන වියේ පසුවූ ජයලාල් රෝහණ මහතා දිගු කලෙක සිට උසස් පෙළ සිසුන්ට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වූ අතර ඔහුගේ ගෝලයින් රාශියක් අදාළ ක්ෂේත්‍රයෙහි අද වෘත්තිකයින් වී සිටින අතර ඔහු නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ලේඛකයෙක්, වේශ නිරූපණ ශිල්පියෙක් මෙන්ම ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්ද වූයේය.

1964 වසරේ උපත ලද ජයලාල් රෝහණ මහතා ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ හා රූපවාහිනියේ සිය සළකුණු තැබුවේය. ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලැබීය. ඉන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් (බාහිර) ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය ඉන්පසු කැළනිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.

ජයලාල් රොහණ මහතාගේ පියා එවකට කොට්ටේ කොමියුනිස්ට් පක්ෂයේ භාණ්ඩාගාරික විය.

Jayalal Rohana

ඔහු 1986 දී රූපවාහිනී නාට්‍යයට පිවිසි අතර වැඩිපුර ඒකාංගික නාට්‍යවල රඟපෑවේය. රූපවාහිනියේ විශාල කතාබහක් ඇති කළ ඉසුරු යෝගය කතා මාලාවේ “මුතුමින” චරිතය නිසා ඔහු අතිශය ප්‍රකට වූ අතර සියලු දේ ජ්‍යොතිෂ්‍යය අනුව සිදු කරන එම අපූරු මනමාලයාගේ චරිතය ඔහු විසින් නිරූපණය කළ විශිෂ්ට රංගනයකි. ඔහු ඒ වෙනුවෙන් සුමති සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ද දිනා ගත්තේය.

ඔහු කුඩා කළ සිටම නාට්‍ය විෂයෙහි සමතෙකුවූ අතර සිංහල නාට්‍යයේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන සයිමන් නවගත්තගම සහ සුගතපාල ද සිල්වා යන අයගෙන් නාට්‍යය හැදෑරීය. තව ද ඔහු නවගත්තගමගේ නාට්‍යවලද රඟපෑවේය. පසුව ඔහුට ගුණසේන ගලප්පති මුණගැසුණු අතර මුහුදු පුත්තු නාට්‍යයට තෝරා ගන්නා ලදී. 1982 දී ඔහුට OCIC ශිෂ්‍යත්වයක් ලැබීම නිසා බෙල්ජියමේ මහාචාර්ය රූඩි කොරන්ස් සහ ඒ. ජී. ගුණවර්ධන සහ ට්‍රිලීෂියා ගුණවර්ධන යටතේ බටහිර නාට්‍ය කලාව හදාරන්නට අවස්ථාවක් ලැබුණි.

ජයලාල් රෝහණයන්ගේ සිනමා ගමන ආරම්භවන්නේ 1995 දී පරක්‍රම නිරිඇල්ල විසින් අධ්‍යක්ෂණය කරන ලද අයෝමා චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය ලබා දීමෙනි. ඉන්පසු ඔහු නිම්නයක හුදෙකලාව, ටිකිරි සුවඳ සහ සිංහවලෝකනය වැනි චිත්‍රපට කිහිපයකම රඟපෑවේය.

තව ද ඔහු දොරමඩලාව රූපවාහිනී අධ්‍යාපන වැඩසටහනේ නිරන්තර අදහස් දැක්වීමට ආ විද්වතෙකු ලෙසද ප්‍රකට විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *