Headlines

    ජනපතිගේ දූෂණ විරෝධී වැඩසටහන ඉන්දියාවේ ඇගයීමට

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව පවසා ඇත.

    ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බවත් ප්‍රකාශ කර තිබේ. 

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ සමීපතාව සිහිපත් කළ ඉන්දීය මහකොමසාරිස්වරයා අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර අඛණ්ඩ සහ ස්ථාවර මිත්‍රත්වයක් පවත්වාගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම අවධාරණය කර ඇත.

    විශේෂයෙන්ම දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වාදුන් ඉන්දීය මහ කොමසාරිස්වරයා,  ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ ද අගය කළේය. 

    එසේම ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ද මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *