අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (29) නියම කළේය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලට කිසිඳු ආකාරයකින් බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය මෙලෙස දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියම කෙරුණි.
මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සඳහන් කළේ මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියේ බල අධිකාරියට යටත් ප්‍රදේශයක් බවත් ඊට මැදිහත්වීමට වග උත්තරකාර ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත්ය.
කෙසේ වෙතත් නඩුවට අදාළ විරෝධතා දෙසැම්බර් මස 02 වනදා ගොනු කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කරන බවට නියෝග කළේය.
පෙත්සම්කාර සමාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටින්නේ මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන විසින් අවශ්‍ය අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදුකරන බවය.
මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර ඇත.