ජුලම්පිටියේ අමරේ ට පැනවූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කරයි

තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළේය.

විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.

ඔහු, 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරාදමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිටී. 

තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබූ අතර එම ඇපෑල තුළින් විත්තිකරු ප්‍රකාශ කළේ මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි විනිසුරුවරයා විසින් සැලකිල්ලට නොගත් බවය. 

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළේ මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කළ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවය.

ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන මරණීය දණ්ඩනය තහවුරු කරන බවත් අදාළ ඇපෑල ප්‍රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *