Headlines

    උසස් පෙළ විභාගය ගැන තීරණය 29වනදායින් පසුව

    පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

    පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා,

    “උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි”.

    පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (26) තීරණය කළේය.

    ඒ අනුව අද, හෙට සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    එමෙන්ම නැවත විභාගය 30වනදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක වන බවත්, අත්හිට වූ දින තුනට අදාළ විෂයන් දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වෙන බවද හෙතෙම පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *