කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (17) දින පෙරවරුවේ විවෘත කෙරිණි. ඒ අනුව මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන අතරම දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය.
ඒ අනුව කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වන අතර පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා මෙම ව්‍යාපෘතිය තිරසර විසඳුමක් වේ.
මේ සඳහා කොළඹ නගර සභාව, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතියට දායක වී තිබේ. ඒ අනුව මෙම ව්‍යපෘතියට එයිට්කන් ස්පෙන්ස් සමාගම වැය කළ මුදල රුපියල් බිලියන 15කි. වඩා සුන්දර මෙන්ම පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් මෙමඟින් හැකියාව උදා වනු ඇත.

විදුලිබලාගාරය විවෘත කිරීමේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණ සිටි පිරිස සමඟ සුහඳ කතාබහක නිරත වූයේය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, නාලක ගොඩහේවා, සීතා අරඹේපොළ, නිමල් ලන්සා, මහත්වරු සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, එයිට්කන් ස්පෙන්ස් සභාපති හැරී ජයවර්ධන, කොළඹ මහ නගරාධිපතිනි රෝසි සේනානායක, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.