Headlines

    දකුණු කොරියානු ජනපති පුටුව රැකගනී

    දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව විපක්ෂය ගෙනආ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණි.

    දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි.

    දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වුණි.

    දෝෂාභියෝගය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු වන අතර ඒ අනුව මන්ත්‍රීවරු 200 දෙනෙකු යෝජනාව සඳහා අනුමැතිය ලබාදීම සිදුකළ යුතු බව සඳහන්ය.

    විපක්ෂ මන්ත්‍රීවරුන් 192කුගෙන් සමන්විත වන අතර දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ සහාය හිමිවිය යුතු විය.

    කෙසේවෙතත් ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් ඉවත්වී ගියේ විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ ය.

    එම මන්ත්‍රීවරුන් අතරින් කිහිපදෙනෙක් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණි අතර ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී එහි සිටියේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණි.

    ඒ අනුව ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව ගෙනආ දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *