පොල්මිල මේ වන විට වෙළෙඳපොළ තුල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.
ඊට ආණ්ඩුවට පවා මැදිහත්වීමට සිදුව ඇත්තේ, පොල් හිඟය සහ අධික මිල හේතුවෙනි.
ඉතිහාසයේ සිට අප ආහාර රටාව හා බැඳුණු පොල් මෙතරම් මිල ගියේ කෙසේ ද ?
මේ ඒ පිළිබඳව දෙරණ අප කළ විශේෂ සොයාබැලීමකි.
පොල්කිරි ශ්‍රී ලාංකේය ආහාර රටාව සමඟ බැඳුණු අත්‍යාවශ්‍ය දෙයකි.
ඒ නිසාම සෑම නිවසකම ආහාර සැකසීම සඳහාම පොල් කිරි භාවිත කරනු ලබන අතර මෙරට වාර්ෂික පොල් පරිභෝජනය පොල් ගෙඩි මිලියන 1800කි.
ඒ අනුව එක් පුද්ගලයෙකු වර්ෂයකට පොල් ගෙඩි 105ක් ආහාරය සඳහා ගනු ලබයි.
දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය සඳහාත් අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න බිලියන 3කි.
කෙසේවෙතත්, එම පොල් අස්වැන්න මේ වසරේ සියයට 30කින් පමණ අඩුවී තිබේ.
මීට හේතුව වී ඇත්තේ කුමක් ද ?
පොල් ඵලදාව අඩුවීමට ප්‍රධාන හේතු බවට පත්ව ඇත්තේ වන සත්ව හානිය, දේශගුණික විපර්යාස, පළිබෝධ හානිය සහ පොහොර භාවිතය අඩුවීමය.
මේ අතරින් පොල් වගාවට වැඩිම හානියක් සිදුකර ඇත්තේ වඳුරා, රිලවා සහ දඬුලේනා ආදී සතුන් විසිනි.
දිවයිනේ සමස්ත පොල් වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 400,000කට අධික වන අතර ඉන් සියයට 20ක් භූමි ප්‍රමාණයක් වන සත්ත්ව හානියට ලක්ව තිබේ.
පොල් වගාවට වන සතුන්ගෙන් වැඩිම හානි සිදුව ඇති දිස්ත්‍රික්ක වනුයේ කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයි.
රතු කුරුමිණි, කලු කුරුමිණි සහ සුදු මැස්සා හානිය මෙන්ම පළිබෝධ හානිය පොල් වගාවේ 10% ත් -15% අතර ඵලදාවට බලපෑම් එල්ල කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ මහත්මා පැවසුවේ මේ හේතුවෙන් වාර්ශිකව මිලියන 200කට අධික ප්‍රමාණයක් අහිමි වන බවය.
“වඳුරන්, රිලවුන් සහ දඬුලේනන්ගෙන් පොල් වගාවේ ගෙඩිවලට තියෙන හානි ඉතාමත් අධිකයි. විශේෂයෙන්ම මේ වෙනකොට මිලියන 200කට අධික ප්‍රමාණයක් වාර්ශිකව අපිට අහිමි වෙමින් පවතිනවා වන සත්ව හානි නිසාවෙන්.
සාමාන්‍යයෙන් අවුරුද්දකට පොල් 800-900ක් අපනයනය කරපු අපිට මේ වෙනකොට අවුරුද්දට පොල් ගෙඩි මිලියන 1350-1400 විතර ඇනවුම් ඇවිල්ලා තියෙනවා. දේශීය පරිභෝජනයට තියෙන කොටසක් තමයි එතනට යන්නේ. ඉල්ලුමට සරිලන සැපයුමක් නැති නිසා පොල් මිල දේශීය වශයෙන් මේ වෙනකොට ඉහළ ගිහින් තියෙනවා.”