Headlines

    ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 150ක් සැපයෙන නව සූර්ය විදුලි බලාගාර 20ක් – විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොල 20 ක් කේන්ද්‍ර කරගනිමින්, නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය අවසන් වී ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ඉදිකරීමට බලාපොරොත්තු වන මෙම බලාගාර ඉදිකිරීම තුළින් ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියෙන් විශාල දායකත්වයක් හිමිවන අතර වසර 2023 වනවිට එම දායකත්වය 70% ක සීමාවට ගෙනඒමේ ඉලක්ක සපුරා ගතහැකි බවද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    මෙහි දී අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති මිල නියම කිරීමේ කමිටුව විසින් ප්‍රසම්පාදනය යටතේ විදුලි ජනන ඒකකයක ඉහළම මිල තීරණය කර ඇති අතර තාක්ෂණික ඇගයීම් කමිටු ඉදිරිපත් කල නිර්දේශ මත මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රතිචාරාත්මක අවම මිල ගණන් දක්වන ලද ලංසුකරුවන් වෙත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට අනුමත කර ඇත. එම ව්‍යාපෘතීන් වෙනුවෙන් මේ වනවිට ජාත්‍යන්තර තරඟකාරි ලංසු ක්‍රමය අනුව ප්‍රතිසම්පාදන කටයුතු සිදුකර තිබන බව සඳහන් වේ. ඒ අනුව එක් අදියරයකට ප්‍රදේශ 04 ක් බැගින් අයත් වූ අදියර 5ක් යටතේ මෙම සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමට යෝජිතය බව සඳහන් වේ.

    ඒ අනුව මෙම අදියර 4 න් A අදියර යටතේ අනුරාධපුර, මාදම්පේ, වව්නතිව්, අතුරුගිරිය, බෙලිඅත්ත යන ප්‍රදේශයන්ගේද, B අදියර යටතේ බෙලිඅත්ත, හොරණ, පොලොන්නරුව, හබරණ යන ප්‍රදේශයන්ගේද, C අදියර යටතේ මාතර, ගාල්ල, මහියංගණය, වේයන්ගොඩ යන ප්‍රදේශයන්ගේද, D අදියර යටතේ අම්පාර, දෙනියාය, කොස්ගම, මතුගම ප්‍රදේශයන්ගේද, E අදියර යටතේ පන්නල, මහව, කුරුණැගල, කොළොන්නාව යන ප්‍රදේශයන්ගේද මෙම විදුලි බලාගාර ස්ථාපිත කිරීමට අදහස් කර ඇත.

    මෙවැනි පුනර්ජනනීය විදුලි උත්පාදනයන් තුළින් ජනතාවට වඩාත් සහනදායි සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *