Headlines

    යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව පරීක්ෂාකර අධිකරණයට දන්වන්නැයි නියෝගයක්

    යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛන්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද (17) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය. 

    එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙසත් අධිකරණය විසින් පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කර තිබුණි. 

    යාපනය ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්මද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ යාපනය අර්ධද්වීප ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි. 

    යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වාසී රටවලින් ඇදී එන අහිතකර කාරක හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බවත් පෙන්වා දුන් නීතිඥවරයා ඒ පිළිබඳව පරීක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කරත් එය ඉටුවී නොමැති බවත් සඳහන් කළේය. 

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය. 

    ඉන් අනතුරුව පෙත්සම් විභාගය මාර්තු මස 6 වනදා පැවතීමටද දින නියම කෙරුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *