Headlines

    ත්‍රීරෝද රථවලට රථවාහන නියෝජ්‍ය පොලිස්පතිගෙන් දැනුම්දීමක්

    ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම හා අලංකරණය සඳහා ‌මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති කාණ්ඩ යටතේ පමණක් අවශ්‍යතාවය මත අවසර ලබාදී ඇතැයි රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

    “යම් ත්‍රිරෝද රථයක වෙනසක් කළොත් අනිවාර්යෙන්ම මුල් අකෘතිය සම්බන්ධයෙන් වෙනසක් සිදු නොවී, වාහනයේ පොතේ ඒ පිළිබඳව ඇතුළත් කළ යුතුයි. ඒ අනුව පොලිස් නිලධාරීයාට පසහුවෙන් අදුරගන්න පුළුවන් මේක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් රජයට මුදලක් ගෙවා මේ අමතර සවිකිරීම සිදුකරලා තියෙන්නේ කියලා.”

    ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම හා අලංකරණය සඳහා ‌මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබුණේ 2023 ජුලි මස 07 වනදා සිටය.

    මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම හා අලංකරණය සඳහා ත්‍රීරෝද රථ සංගම් හා මහජනතාව කළ ඉල්ලීම් ප්‍රකාරව, ‌දෙපාර්තමේන්තුව විසින් නිර්ණායකයන් කිහිපයක් යටතේ මෙම අනුමැතිය ලබා දුන්බවය.

    කෙසේවෙතත් විවිධ නාදරටා, විවිධ වර්ණ සහිත අමතර පහන් ඇතුළු රථවාහනවල නීතිවිරෝධී සවිකිරීම් ඉවත් කිරීම සඳහා රියදුරන්ට ලබන 19 වන දින දක්වා කාලය ලබාදෙන බව පොලීසිය පවසයි.

    පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනවාරි 05 වනදා සිට ලබන 19 වන දින දක්වා මේ සම්බන්ධයෙන් රියදුරන් සහ මහජනතාව දැනුවත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවය.

    ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් සිදුකිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණි.

    ඒ අනුව විවිධ නාදරටා, විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, නීතිවිරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවිකිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්තරාදායක ලෙස අමතර කොටස් සවි කරමින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස රියදුරන්ට අවවාද කර දැනුවත් කිරීම සිදුකරන අතර ලබන 19 වන දිනට පෙර එම සියලු නීතිවිරෝධී සවි කිරීම් ඉවත් කළ යුතු වෙයි.

    අදාළ කාලසීමාවෙන් පසුව එවැනි රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *