Headlines

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ජනපති සූදානම්

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවත් ඒ සඳහා කමිටුවක් මේ වනවිට ස්ථාපිත කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    “ජාතිවාදය, අන්තවාදය යළි කිසිදිනෙක අපේ රට හිස එසවීමට අපි ඉඩදෙන්නේ නෑ…” යනුවෙන් ද පැවසූ ජනාධිපතිවරයා, සංවිධානාත්මක අපරාධකල්ලි හුදු අපරාධකරුවන්ගේ කල්ලියක් පමණක් නොව ඔවුන් කාලයක් පුරා නිදැල්ලේ දේශපාලන රැකවරණය ඔස්සේ වර්ධනය වීමට ඉඩහැර ඇතැයි ද පැවසීය.

    මේ අතර පොලීසියේ ඇතැම් අය ද මෙම අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන බව පැවසු ජනාධිපතිවරයා, ඇතැම් හිටපු ජනාධිපතිවරුන්ගේ පුතෙකුට ගිනිඅවි 7ක් ලබාදී තිබූ බවත් පැවසීය.

    ඇතැම් ගිනිඅවි නිසි ලෙස සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා ආරක්ෂාව ගැන කිසිදු වගකීමක් නොමැති පාලනයක් රට තුළ තිබී ඇතැයි ද කියා සිටියේය.

    “මතක තියා ගන්න ජාතික ජන බලවේගයේ අපේ ආණ්ඩුව මේ යටිබිම්ගත අපරාධ කල්ලිය සමග හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා…මේවා කොහොම ද මේ කල්ලිවලට ආවේ. 

    පරීක්ෂණ සිදුවෙනවා බය වෙන්න එපා. හැබැයි ඒ පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ. අපි ඒවා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඉස්සර මේක සාම්ප්‍රදායක් වෙලා. පරීක්ෂණ තත්ත්වයන් මාධ්‍යයට ඉදිරිපත් කරාම චූදිතයින්ට සැඟවීමට වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා සංදර්ශන පරීක්ෂණ. අපි ඒවා තියන්නේ නෑ.”

    හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු හතක් ලබා දී ඇති බවත්, හිතවතුන්ට හෝ මිතුරන්ට ලබාදෙන පත්වීම් සමග අලුත් ගමනක් යා නොහැකි බැවින් නව පත්වීම් සිදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *