ඊයේ (20) පස්සර 13 කණුව ප්‍රදේශයේදී 14 දෙනෙකුට ජීවිත අහිමි කරමින් තවත් 33දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ අනතුරත් සමඟ පළා ගිය ටිපර් රථ රියැදුරු ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් 30,000 ක සහන මුදලක් ලබා දීමට ඌව පළාත් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
තව ද එම මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු ප්‍රාදේශීය සභාවල සහයෙන් සිදුකිරීමට ද තීරණය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පතිරණ මහත්මිය පැවසුවේය.
ඊයේ උදෑසන 7.30 ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව අසලදී අඩි 250ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වූ අනතුර සිදු වී තිබේ.
එහි දී බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩලබාදීමට යාමේදී මෙම අනතුර සිදු වී ඇති බව CCTV දර්ශන මඟින් අනාවරණය වේ.
ඒ අනුව මගීන් 45 ක් ගමන් ගත් එම බස් රථයේ සිටි පුද්ගලයින් 14 දෙනෙකුට අනතුරින් දිවි අහිමි වූ අතර අනතුරින් මියගිය 14 දෙනා අතර පිරිමි 09 ක් සහ කාන්තාවන් 05 ක් සිටින බව පොලිසිය පැවසුවේය.
එම මරණ වල පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් පසු ඥාතීන් වෙත ඊයේ (20) භාරදීමට බදුල්ල රෝහල කටයුතු කර තිබෙන අතර එහි දී කිසිවෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී නොමැති බවට වාර්තා වේ.
මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථ රියැදුරා ද බදුල්ල රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චන්දන අතුලුවගේ මහතා මෙම අනතුර පිළිබඳ පැවසුවේ මෙවන් අදහසකි.
“බදුල්ල සිට චෙන්කලාඩි දක්වා ඉදිකෙරෙමින් යන කොටසක මේ අනතුර සිදුවෙලා තියෙන්නේ මේ මාර්ගයට ගලක් පෙරළිලා තියෙනවා 2020 නොවැම්බර් 22 වැනිදා. ඒ නිසා එතන මාර්ගය පටුවෙලා ගමනාගමනයට බාධා ඇතිවෙලා තියෙන්නේ. කොන්ත්‍රාත් සමාගම් දෙකක් එකතුවෙලා මේ මාර්ගයේ ඉදිකිරීම් කරන්නේ. ඒ අයට අපේ ව්‍යාපෘතිය මඟින් දැනුවත් කරලා තියෙනවා 2020 දෙසැම්බර් මාසයේම මේ ගල ඉවත් කරන්න කියලා. ඊට අමතරව 2021 මුල ඉදන් පෙබරවාරි 10 වැනිදා දක්වා තුන් වතාවක් ලිඛිතව දැනුම්දීලා කියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද ගල ඉවත් කරන්නේ කියලා. ඒ කොන්ත්‍රාත් සමාගම මේ වනතෙක් කටයුතු කර නැහැ. ඒ නිසයි ගල ඉවත් කිරීමට ප්‍රමාද වෙලා තියෙන්නේ. අද අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කණ්ඩායමක් පිටත් වෙලා තියෙනවා මේ ගැන සොයා බලා ඒ අවශ්‍ය පියවර ගන්න කඩිනමින් ගල ඉවත් කිරීමට කටයුතු කරගෙන යනවා. කොන්ත්‍රාත්තුව යන අතරේදී මේ අනතුර සිදුව තිබෙන්නේ. “ – යැයි ඒ මහතා කියා සිටියේය.