ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව වාර්තා වේ. ඒ අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දීය.
කලක පටන් රෝගාතුරව සිටින් උන්වහන්සේ අපවත්වන විට 88 හැවිරිදි වියේහි පසු විය.
උන්වහන්සේ බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි දහමට ලැදි සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක පවුලේ බාලයා වශයෙන් 1933 ජනවාරි 26 වන දා උපත ලැබූ අතර පියා ඇඳවිතාරණ ගේ හර්මානිස් රුද්‍රිගු නමින් පතළ වැවිලිකරුවෙක් ද මව සෙලෙස්තිනා රුද්‍රිගු නම් පිංවත් මාතාවය.
එදා කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලට ( කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලය) ඇතුළත් ව මූලික අධ්‍යාපනය ලබමින් සිටිය දී සිරිලක සසුන්කෙත බැබලවීමේ පෙර පින් ඇති නිසා ගිහිගෙය හැර පියා උණවටුනේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු මස 17 වන දා ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමයේ දී කොටුගොඩ ධම්මාවාස නමින් සසුන් බිමට පිළිපන් වූහ.
ඒ අනුව තෙවළා දහම් විෂයෙහි පරිණත දැනුමක් ලැබීම පිණිස 1949 වසරේ දී රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණට ඇතුළත්ව ද්විතීය අධ්‍යාපනය ලැබීය. පසුව උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා 1952 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූ අතර පණ්ඩිත පලන්නොරුවේ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්මාචාර්යත්වයෙන් සිංහල, පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍ර හා ත්‍රිපිටක ධර්මය පිළිබඳව ද හැදෑරූ උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙණ මගින් පවත්වන ලද විනයාචාර්ය සද්ධර්මාචරිය යන විභාගය ඉහළින් ම සමත් විය.
තවද වලානේ සට්ඨිසර නාහිමි, පූජ්‍ය කම්මට්ඨානාචාර්ය මාහෝ සුමේධ, පූජ්‍ය පණ්ඩිත යටිපහුවේ මේධානන්ද නාහිමි යන හිමිවරුන් යටතෙහි, ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍රාදිය හදාළන ලදී.
උන්වහන්සේ 1954 ජූලි 10 වන දින කලුගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යයෙන් උපසපන් වූයේය.
උන්වහන්සේගේ අතිශය නිරහංකාර ගුණයෙන් මෙන් ම විශාර ද පාණ්ඩිත්‍යයෙන් යුත් ධම්මාවාස හාමුදුරුවෝ මධුර මනෝහර ලෙස ධර්ම දේශනා කිරීමට ඇති සුවිශේෂී හැකියාව නිසා ම ලක් වැසි ජනතාව ගේ මහත් පැසසුමට මෙන් ම ප්‍රසිද්ධියට පත් හිමි නමකි. උන්වහන්සේ රටවල් රැසක ධර්ම දූත කටයුතු සඳහා වැඩම කළ අතර බෞද්ධ පුනරුදය සඳහා කටයුතු කරන ලදී.
ජනතාවගේ දහම් දැනුම වර්ධනය කිරීම උදෙසා කටයුතු කළ උන්වහන්සේට උතුම් වූ අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු !..