වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර තම රජය ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්නතර සුරැකීමත් සිදු කරන බවයි.
පසුගිය 21වැනිදා වීරකැටියේ පැවති උත්සවයකදී ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන යාම සඳහා සිංහරාජ වනාන්තරයේ වැව් 2ක් ඉදි කිරීම පිළිබඳ කළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශවයන් තුළ නිර්මාණය වී ඇති සංවාදය ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ එක් අන්තයක් සහිතව හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඔඩුදුවා ඇති පානීය සහ ගෘහස්ත ජල අර්බුදය මෙන්ම වාරි ජල අර්බුදයෙන් පීඩා විඳින ලක්ෂ 05කට වැඩි ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ ඉල්ලීමක් මත ගිං – නිල්වලා යෝජනා ක්‍රමය සැකසී තිබෙන බවයි.
ඒ අනුව පත් කළ ව්‍යාපෘති විශේෂඥයින් යෝජනා කර තිබුණේ සිංහරාජ රක්ෂිත සීමාවේ ඇති මාදුගැටේ ගම්මානය අසළින් ගලා බසිනා ගිං ගඟේ දකුණු ඉවුර ආශ්‍රිතව මාදුගැටේ වැව ද නිල්වලා ගඟ ආශ්‍රිතව අම්පනාගල ගම්මානය ආශ්‍රිතව අම්පනාගල වැව ද ඉදිකළ හැකි බවයි. ඒ අනුව එම වැව් නිර්මාණයේ දී සිංහරාජ රක්ෂිත සීමාව ආශ්‍රිත එම කලාපවල ජෛව විවිධත්වයට හා ශාක සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙමින් මෙම ක්‍රියාව සිදු කිරීමට යෝජනා වූ බව සඳහන් වේ.
කෙසේ වෙතත් දේශීය පාරිසරික ආයතන සංවිධාන හා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ නිර්දේශ හා නියමයන්ට පරිබාහිරව ක්‍රියා නොකරන බවත් ලෝකයේ දුර්ලභ වැසි වනාන්තරයක් හා ජෛවගෝල රක්ෂිතයක් වන හෙක්ටයාර 11,187කින් යුත් සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ අමාත්‍යාංශයට පැහැදිලි අවබෝධයක් ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ, තෙත් බිම් වනාන්තර පිළිබඳ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය මෙන්ම ගෝලීය පරිසර සංවිධානයන් සමග අප රජයට ඇති එකඟතාවයන්ට ගරු කරමින් ජාත්‍යන්තර පරිසර සම්මුතීන් පිළිගනිමින් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා රජය තවදුරටත් කැපවන අතරම ලෝක පරිසර සම්මුතීන් හා තෙත් බිම් ප්‍රඥප්ති සුරකිමින් සිංහරාජ වැසි වනාන්තරය ආරක්ෂා කිරීමේ මූලික වගකීම ඇත්තේ රජයට බවයි.