පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (28) සිදු කිරීමට නියමිතය.
ඒ අනුව නිදන් වස්තු තැම්පත් කිරීමේ සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලව සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.
අනුරාධපුර පූජා භූමියේ ඉදිවන සඳහිරු සෑය රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දාගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දාගැබේ නිදන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර ඇති බව වාර්තා වේ.
මෙම සෑය ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා 09 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙමින් ඉදි කරනු ලබයි.
මෙම සෑයේ චූඩා මාණික්‍ය ආතර් සේනානායක මහතා විසින් පරිත‍්‍යාග කර ඇති අතර චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ රට පුරා බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැරකින් වැඩමවීමට කටයුතු සැලසුම් කර ඇත. එමෙන් ම මෙ මස 20 දින සිට බැතිමතුන් විසින් සඳහිරු සෑ පරිශ්‍රයේ ඇති කාර්යාලය වෙත නිධන් වස්තු හා මැණික් ගෙනැවිත් භාරදීම සිදු කරමින් පවතී.
කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, එළඹෙන නොවැම්බර් මාසය වන විට ස්තූපයේ වැඩ නිම කර ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සළසා දෙන බවය.