ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාම හමුවේ බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ(28) සිට දින තුනක කාලයක් එම නිවේදනය වලංගු වන බවයි. තව ද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 50ත් 65ත් දක්වා තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.
මේ අතර අද (29) දහවල් කාලයේ සබරගමුව,මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.