2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තමා ජයග්‍රහණය කළ කිරුළ අත්හැරීමට තීරණය කළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ පසුගියදා පැවති 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධියෙන් පසුවය.
එම නිවේදනයේ ඇය සඳහන් කරන්නේ, 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බවත් එම තරඟයේ අවසන් වටයට තේරී පත් වූ උපරිමයෙන් කටයුතු කළ සියලු තරඟකාරිනියන්ට සාධාරණ හා සැමට සමාන වූ අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමා පෙනී සිටි බවත් ය.
තව ද එම තරඟයේදී කිසිම තරගකාරියකට පක්ෂපාතිව හෝ විරුද්ධව කටයුතු නොකළ බව පවසන කැරොලයින් ජූරි මහත්මිය තමා දිනාගත් කිරුළ නැවත භාරදීමට කාලය එළැඹි ඇති බව තමන් දන්නා බව ද මෙම නිවේදනයේ වැඩිදුරත් සඳහන් විය.
කෙසේ වෙතත් පසුගියදා මෙරට පැවති 2021 විවාහක රූ රැජිණ තෝරාපත් කර ගැනීම සඳහා පැවති තරඟයේදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයෙකු බව පවසමින් ඇයට හිමි වූ කිරුළ එහි දෙවන ස්ථානය හිමි කරගත් තරඟකාරියට ලබාදීමට කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කරන ලදී.
ඒ අනුව එම සිදුවීමට එරෙහිව පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් කුරුඳුවත්ත පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළව කැරොලයින් ජූරි මහත්මිය සහ චූලා පත්මේන්ද්‍ර යන අය ඊයේ (08) අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හරින ලදී.