පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා තවත් පාර්ශව රැසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.
එහි දී තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති අතර ඔහු පෙත්සමෙන් ඉල්ලා ඇත්ත එම විශේෂ පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ ජාතික ආරක්ෂාවට හා ආර්ථිකයට තර්ජනයක් වන බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.
තව ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ, මෙම කෙටුම් පත මඟින් වරාය නගරය තුළ තිබෙන ඉඩම් පැවරීම, විකිණීමේ හා බදු දීමේ බලය වෙනත් පාර්ශ්වයකට හිමිකර දීම මෙන්ම වරාය නගරය තුළ සේවය කරන අයගේ වීසා අනුමත කිරීමේ බලය ද වෙනත් පාර්ශ්වයකට හිමි කර දී ඇති බවය.
එහි දී පාර්ලිමේන්තුව සතු රටේ මුදල් පරිපාලනය කිරීමේ බලය වෙනත් පාර්ශ්වයකට ලබා දීම සහ විශේෂ බදු සහන වරප්‍රසාද හිමිකර දීම රටේ ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් බව කපිල පෙරේරා මහතා තම පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙනු ලැබීය.
කෙසේ වෙතත් අද (15)කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ , අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ , වරාය නගරය චීන කොලනියක් බවට තමයි පත් කිරීමට සැරසෙන බවත්, එලෙස රට තුළ චීන කොළනියක් ඇති කිරීමට ඉඩ නොදෙන බවත් ය.