අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවැනි දිනටත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සළකා බැලේ.
එහි දී පෙත්සමක් ඉදිරිපත් කළ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කර අතර ඔහු කියා සිටියේ, කොළඹ වරාය නගරය ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇතිකර ගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ ඇති කර ගත් සංශෝධිත ගිවිසුමේත් එම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ බවයි.
ඒ අනුව කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබු බව සඳහන් කළ ඒ මහතා එහි දී පළාත් සභා විෂයට අයත් එම පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමුකර ඒවායේ මතය විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යැයි චෝදනා කරන ලදී.
කෙසේ වෙතත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 19 ක් ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීම ඊයේ (19) ඇරඹි අතර පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.