2019 වසරේ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකක් සපිරේ.
එදින උදෑසන සිට සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන 03ක් සහ ප්‍රධාන පෙළේ හෝටල් 03ක් ඉලක්ක කරගනිමින් සිදුවිය.
එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව තිබේ.
2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අය සිහිකර අද (21) උදෑසන 8.45ට කිතුනු දේවස්ථානවල සීනූ නාද කර ඉන් පසු මිනිත්තු 2ක නිහඬතාවයක් පැවැත්වුනි.
මෙහි දී පාස්කු ප්‍රහාරයේ මුල්ම ඉලක්ක බවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි යන දේවස්ථානවලදීත් විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ම පවත්වන ලදී.
මේ අතර කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (21) පැවති විශේෂ ආගමික වැඩසටහනේ දී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුකරන තෙක් මේ වන විට දියත් කර ඇති විරෝධතා දිගටම පවත්වන බවත් එය එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවත්ය.
“රජයේ මුලික වගකීම ජනතාවගේ ආරක්ෂාව සැපයීමයි. මේ වගකීම පසුගිය රජය විසින් ඉටු නොවුන බව ඉතාමත් පැහැදිලියි. වර්තමාන රජය විසිනුත් ප්‍රමාණවත් අවධානයක් මේ සම්බන්ධයෙන් නොයෙදුන බවට රටවාසී හැම පැත්තෙන්ම චෝදනා එල්ල වන අවස්ථා අපි දකිනවා. පසුගිය රජයෙන් සිදුවු අකටයුතුකම් හා අතපසුවීම්වලින් තොරව ත්‍රස්තවාදය නැවැත්වීමට පමණක් නොව ත්‍රස්තවාදයේ හේතුසාධක නැති කිරීමට වත්මන් රජය අවශ්‍ය විධිවිධාන වහා ඉටුකළ යුතුයි.“ – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
කෙසේ වෙතත් මෙම සැමරුම් උත්සව පැවැත්වෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල ඊයේ පස්වරු 04.00 සිට අද මධ්‍යහ්න 12.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරේ, අද (21) දිනය තුළ කිතුනු දේවස්ථානවලට උපරිම ආරක්ෂාවක් සපයන ලෙස පොලිස් මුලස්ථානය විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවයි.
අද (21) දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර කර ඇති බව වාර්තා වේ.