අද (25) දින සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත.
මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇති බවයි.
මේ අතර කොවිඩ් ආසාදිතයන් 895 දෙනෙකු ඊයේ (24) දිනය තුළ මෙරටින් හඳුනාගෙන ඇති අතර වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන ආසාදිතයින් 218 වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එහි දී කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල, තලංගම, කොටුව, කොට්ටාව සහ මොරටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.
තව ද ඊයේ (24) දිනයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 150 වාර්තා විය.
කෙසේ වෙතත් වෙසක් පොහොය නිමිති කරගෙන පිරිස් ඒකරාශී වන අන්දමේ වැඩසටහන් සංවිධානය නොකරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව වෙසක් උත්සවය ආගමික වතාවත්වලට පමණක් සීමාකරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.