මෙරට තුළ පැවති කුරිරු ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඊට අදාල කැබිනට් පත්‍රිකාව යෝජනා 7ක් සහිතව ජනාධිපතිවරයා අප්‍රේල් 27 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර එහිදී එයට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව,
01. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය විවාහක ත්‍රිවිද හමුදා / පොලිස් සාමාජිකයන්ගේ වැන්දඹුවන් වෙත, මියගිය සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට හිමිගන්වන ලද වැටුප් හා දීමනාවල එකතුව නොවනස්ව වැන්දඹුවන් ජීවත්ව සිටින තෙක් ගෙවීම.
02. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය විවාහක/ අවිවාහක ත්‍රිවිද හමුදා/පොලිස් සාමාජිකයන්ගේ දෙමාපියන් වෙත සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට දෙමාපියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000ක මාසික දීමනාවක් හිමි ගැන්වීම.
03.ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත මේ වන විටත් ජීවිතාන්තය දක්වා ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ යැපෙන්නන් වෙත ගෙවීම.
04. ත්‍රස්ත ක්‍රියා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරීවල යෙදී සිටියදීත් ආබාධිත ත්‍රිවිධ හමුදා / පොලිස් සාමාජිකයන් වෙත සහ මිය ගිය සාමාජිකයන්ගේ යැපෙන්නන් වෙත අදාළ සිදුවීම් පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් සහ යැපෙන්නන් වෙතද වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දීමනා නොවෙනස්ව හිමි ගැන්වීම.
05. පැවති යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පශ්චාත් යුද ක්‍රියාකාරකම් (පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම වැනි ) කාර්යයක නිරත වීමේදී ආබාධිත වූ, මිය ගිය ත්‍රිවිද හමුදා , පොලිස් සාමාජිකයන් වෙත අදාළ සිදුවීම පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් හා යැපෙන්නන් වෙත ජීවිතාන්තය දක්වා වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දිමනා නොවෙනස්ව හිමි ගැන්වීම.
06. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා, පොලිස් සාමාජිකයන් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර මිය ගියහොත් ඔවුන් අවුරුදු 55 තෙක් ජීවත්ව සිටින්නේ යැයි සලකමින් ඒ දක්වා වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම.
07. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව එම ආබාධිත බවින් ඇති වූ මානසික ව්‍යාකූලතාවයක් නිසා සියදිවි නසාගත් සාමාජිකයෙකුට (වයස 55 තෙක්) අයත් වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම.
ලෙස කැබිනට් අනුමැතියෙන් සහන හිමිවේ.
මේ අනුව යෝජිත සහන අනුමැතිය ලද දින සිටම ගෙවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.