ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ අද (21) දින සිට ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
තව ද ස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරුසහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර දිවයින අවට සුළං තත්ත්ව යම් මට්ටමක වැඩිවීමක් සිදුව ඇති නිසා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.




