දිවයිනට ඊසාන දිගින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ දත්තවල සඳහන් වේ.
ඒ අනුව ‘යාස්’ නැමැති එම සුළි කුණාටුව අද (25) දිනයේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට (26) වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ හේතුවෙන් අද (25) සහ හෙට (26) දින මෙරට මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර තවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නාවලපිටියෙන් වාර්තා වූ අතර නාවලපිටිය, එල්ටන් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 175. 5 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නාවලපිටිය, කන්දල්ඔය වත්තට මිලිමීටර් 175 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර කළුපහන ප්‍රදේශයට මිලිමීටර් 150 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
මේ අතර කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ දැඩි අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව රත්නපුර , නිවිතිගල, පැල්මඩුල්ල, කහවත්ත හා ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගිෂ්වර මහතා පැවසුවේය.
කෙසේ වෙතත් දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන්, දිස්ත්‍රික්ක 06කට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව භු විද්‍යා හා පතල් කැනීම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (25) දිනයේ ද සබරගමුව පළාත හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.




