නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායක, අබුබකර් ෂෙකාවෝ මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට ප්‍රතිවාදී සටන්කාමී කණ්ඩායමකට (Iswap) එරෙහිව පැවති ගැටුමකින් පරාජයට පත්වීමත් සමග පුපුරණ ද්‍රව්‍යයක් පුපුරවා ගැනීමෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවය.
වර්ෂ 2009 දී බොකෝ හරාම්හි නිර්මාතෘ පොලිස් අත්අඩංගුවේදී මියයාමෙන් පසු ෂෙකාවෝ ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් වු අතර ඔහුගේ නායකත්වය යටතේ කලාපය පුරා බෝම්බ පුපුරුවා හැරීම්, පැහැරගැනීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියා රැසක් සිදු කර ඇත.
ඔහු විසින් 30,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මියගිය බවට වාර්තා පළ වූ බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායක, අබුබකර් ෂෙකාවෝගේ මරණය සම්බන්ධයෙන් බොකෝ හරාම් සංවිධානය හෝ නයිජීරියානු රජය මේ වන තෙක් තහවුරු කර නොමැත.
2014 වසරේදී බෝර්නෝ ප්‍රාන්තයේ චිබුක්හි පාසලක සිය ගණනක් දැරියන් පැහැරගෙන යාමේ සිද්ධියත් සමග බොකෝ හරාම් ත්‍රස්ත කණ්ඩායම මුළු ලෝකයේ අවධානයට ලක් වූ අතර එලෙස පැහැර ගත් දැරියන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් අතුරුදන් ය.

මෙම සිද්ධියෙන් පසුව අමෙරිකා එක්සත් ජනපදය බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකාවෝ ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේ ය.





