මෙරට බෞද්ධ ඉතිහසායේ වැගත්ම සංධිස්ථානයක් වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින අදට (24) යෙදී තිබේ.
එ දවස ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජු හා ඉන්දීය අධීරාජ්ය ධර්මාශෝක රජු අතර පැවති රාජ්ය තාන්ත්රික කල්යාණ මිත්රත්වයේ ප්රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 237 දී මෙරටට වැඩම කරනු ලැබුවේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදීය.
උන් වහන්සේගේ පැමිණිම මෙරට සමාජ, සංස්කෘතික, දේශපාලනික සහ ආගමික යන සෑම අංශයකම පරිවර්තනයක් ඇති කිරීමට මහත් සේ ඉවහල් වුණි.
ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්රථම වරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදු වූයේද අද වැනි පොහොය දිනක බව සඳහන්ය.
තව ද මෙරට ප්රථම මහණ උපසම්පදාව වන බණ්ඩුක උපාසක උපසම්පදාව සිදුවන්නේද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ දැක්වේ.
මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේවානම්පියතිස්ස රජු ධර්මයෙහි පිහිටීමෙන් ඇරඹි සඳහම් පණිවුඩය ශ්රී ලංකා ද්වීපයේ මුල් බැස ගැනීමෙන් නිවුනු සැනසුණු ජීවිතයක හා සම්බුද්ධික විමංසනශීලී සමාජයක දායාදය අපවෙත උරුම වූ බවත්, යහපත් රටක් ගොඩනැගීමට තථාගත දහමත්, දස රාජ ධර්මයත් පදනම කරගත් රාජ්ය සංකල්පයක් අපගේ පාලනයේද පූර්වාදර්ශය කරගත යුතු බවත්ය.
කෙසේ නමුත් මෙරට බෞද්ධ ජනතාවට මෙවර පොසොන් පොහොය කොවිඩ් -19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් නිවසට වී සැමරීම සිදුව තිබේ.

ජාතික පොසොන් උත්සවය මෙවරත් අනුරාධපුරය, මිහින්තලය කේන්ද්ර කර පැවැත්වෙන අතර ස්වර්ණමාලි චෛත්යාරාමාධිකාරි, නුවරකලාවියේ ප්රධාන සංඝනායක, ශාස්ත්රපති , පූජ්ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ පැවසුවේ , එම සියලු ආගමික කටයුතු සෞඛ්ය අංශවල උපදෙස් අනුව සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවයි.




