දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(11) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්මේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත් බස්නාහිර හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බවත් ය.
මේ අතර මන්නාරම සිට කොළඹ ගාල්ල , සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළුවිය හැකි බවයි.
කෙසේ වෙතත් දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ හමුවේ ඇති වූ අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 11,737 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ, අධික වැසි හා සුළඟින් දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ලවී ඇති බවයි.
මේ වන විට මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, රත්නපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.