Headlines

    තවත් ඔන්ලයින් මූල්‍ය වංචාකරුවෙකු කොටුවෙයි

    සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ණය ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකි.

    එම සැකකරුට එරෙහිව වාහන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාගයකට අදාළව අධිකරණය මගහැර දීර්ඝ කාලයක් සැඟව සිට තිබේ.

    එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයකදී තිහගොඩ පොලීසිය විසින් මෙම සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු සන්තකයේ තිබී ටැබ් පරිගණකයක්,  ජංගම දුරකථන හයක්, විවිධ බැංකු කාඩ්පත් අටක් සහ මුදලින් රුපියල් හතලිස්දහසක් පමණ පොලීසිය සිය භාරයට ගෙන ඇත.

    පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු විසින් ඔන්ලයින් ණය ලබාදෙන මුවාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ණය සේවා ගාස්තු ලෙස රුපියල් 3000 සිට 5000ක් දක්වා වූ මුදලක් විවිධ බැංකු වෙත බැර කරවාගෙන ඇති බවය.

    අනතුරුව ණය මුදල් ලබාදීමක් සිදු නොකර අදාළ ණය ඉල්ලුම්කරුවන් මගහරිමින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    මේ සඳහා සැකකරු මුහුණුපොත සහ වට්ස්ඇප් භාවිතයට ගෙන ඇති බවට හෙළිවී ඇත.

    සැකකරු අද (22) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර තිහගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *