මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක ඊයේ (29) දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවය. විශාල උනන්දුවක් සහ කැපවීමක් සහිතව ඉතා ක්‍රමානුකූල ව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින්, දෙමව්පියන් සමග ද සම්බන්ධීකරණය පවත්වාගනිමින් ඉතා සැලකිලිමත් ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
“කොවිඩ් 19 වසංගතය නිසා වසා දැමුණු පාසල් බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල විවෘත වුණ නමුත් පවතින දැඩි අවදානම් තත්ත්වය මත මේ පළාතේ දිස්ත්‍රික්ක තුනේ පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණේ නැහැ. නමුත් අවදානම් තත්ත්වය මත දරුවන්ගේ අනාගතය ම අඳුරු කරන්නට අපට බැහැ. වගකිවයුතු රජයක් ලෙස එම වගකීමෙන් මිදෙන්න අපි සූදානම් නැති නිසා ම සියලු අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළා. සෙසු ප්‍රදේශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අභියෝග ජය ගනිමින් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපිට ශක්තියක් තිබුණා”. යැයි අමාත්‍යවරයා පැවසීය.
“කොවිඩ් – 19 එන්නත් ලබාදීමේ දී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා” යැයි ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරේය.