Headlines

    ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    ඊයේ (06) උදෑසන ඔවුන් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

    පසුගිය ජූලි 01 වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුණි.

    ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සිදුකළ සොයා බැලීමේදී ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකු ද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා විය.

    ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසද සති දෙකක් තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම පිරිස දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිතය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *