ඊයේ (04) පෙරවරුවේ ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයක් විසින් ජාතික නිදහස් දිනය හේතුවෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ “සිංහලයේ ධජය” නම් වූ ධජය එසවීම සඳහා උත්සාහ කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගැනීමත් සමග දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.
ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයේ කැඳවුම්කරු බව කියන පූජ්‍ය මැදිරිගිරියේ සුකි නම් වූ හිමිනමක් ඇතුළු පිරිසක් එම ධජයද සමග ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා ඒ පිරිසට දැනුම් දුන්නේ, දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට කිසිදු තහංචියක් නොමැති බවත්, දළදා මාලිගා පරිශ්‍රය තුළ පිළිගත් ජාතික කොඩිය හැර, වෙනත් විවිධ ධජ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත්ය.
එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා වාදයක පැටළුණ හිමිනම කියා සිටියේ, තමන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමට සූදනම් වූයේ පෙර රජ දවස සිටම භාවිත කළ සිංහලයේ නියම ධජය බවයි. නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම හිමට අවධාරණය කර සිටියේ, එකල මෙම ධජය භාවිතා කළද වර්තමානයේ ජාතික කොඩිය වෙනස්වී ඇති බවත්, මුස්ලිම් හා දමිළ ශ්‍රී ලාංකික පුරවැසියන් නියෝජනය වීම සඳහා කොටස් එක්ව ඇති බැවින් ඊට පටහැනි වෙනත් ධජයක් ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදිය නොහැකි බවයි.
ඉන් අනතුරුව දළදා මාලිගාව තුළට ගිය මැදිරිගිරියේ සුකි නමැති හිමිනම ආගමික වතාවත්වල නිරත වී සිංහලේ ධජය ශ්‍රී දළදා වහන්සේට පුජා කිරීමටද පොලිස් අධිකාරිවරයාට ද ඉන් ධජයක් ලබාදීමට ද පියවර ගත්තේය.