ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය, මියුරි සමරසිංහ දැයෙන් සමුගනී

ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ (06) සිය ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසු අතර අවසන් කාලයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදින ලදී.

ඇය මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ උඩරට හා පහත රට නැටුම් හැදාරන ලදී. පසුව සුදර්ශි ආයතනයේ නැටුම් ගුරුවරියක් ලෙස සේවයට එක් වූ ඇය වයස අවුරුදු 17 දී විවාහ වන ලදී. ඇය සිය සැමියා වන පියල් සමරසිංහව මුණගැසුණේ පාසල් අවධියේදීය. ඇයට වයස අවුරුදු 24 වන විට දරුවන් හතර දෙනෙකුගේ මවක්වී සිටි අතර මෙම යුවළට දියණියන් තිදෙනෙක් හා එක් පුතෙකු සිටින අතර ඔවුන් සුජීවා, දීප්ති, අවන්ති සහ රුවන්ය. දීප්ති සහ අවන්ති නිවුන් දරුවන් ය.

ඇගේ ස්වාමිපුරුෂයා වූ පියල් සමරසිංහ 1979 දී මිය යන විට ඇගේ වයස අවුරුදු 39 කි.

ඇගේ නාට්‍ය ජීවිතය ආරම්භ කළේ අලූත් දවසක් නම් වේදිකා නාට්‍යයෙනි. පසුව ඇයට රන් කන්ද, උමතුසන් වරුසාව, ඔතෙලෝ, සිවම්මා ධනපාල, ලෝරා සහ නවසිය අනු නවය වැනි වේදිකා නාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ලැබුණි. ඒ අවසරින් ඇය වේදිකා නාට්‍ය 300 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර නාට්‍ය 10 ක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර ඇත.

1981 දී ඇය ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානය නවසිය අනු නවය නාට්‍යය සඳහා දිනා ගත්තාය. එම වසරේම ඇයගේ නිෂ්පාදනය වූ හිම කුරුල්ලෝ හොඳම නළුවා, නිළිය, තිර රචනය සහ නිෂ්පාදනය සඳහා වූ ගෝල්ඩන් ඩිසයින් සම්මාන උළෙලේදී සම්මාන හතරක් ලබා ගත්තාය. ඇය රූපවාහිනී නාට්‍ය 500 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. ඉරට හඩන මල්, ඉර පායා, සන්නාලියනේ, නෑදෑයෝ, සිහින නිම්නය, සූර අසුර, දාමිනි ඒ අතර වේ. ඇයට ශ්‍රී ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක රඟපෑ නිළිය ලෙසද ඇයට සම්මානයක් හිමි විය.

ඇය සිය නාට්‍ය දිවියේ 50 වන සංවත්සරය පසුකර යද්දී ඇය සිය ජීවිත කතාව ලියා පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මියුරි සමරසිංහයනි ඔබට නිවන් සුව!…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *