අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලංකා වාණිජ මණ්ඩලය ද සුභාශිංසන එක්කර තිබේ.
මෙම සන්දර්භය තුළ සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සහ ලංකා වාණිජ මණ්ඩලයේ VISION 2030 ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව, ධුරකාලයේ පළමු මාස 6තුළ ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස එම මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ඊට අනුව මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිචේදනය මත පදනම්ව බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන සමඟ ඉදිරියටයාමත්, වත්මන් බදු ගෙවන්නාට බරක් නොවනසේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි රාජ්‍ය වියදම්වල අපේක්ෂිත වෙනස්කම් සහ විශ්වසනීය ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමත්, වීසා ගැටලුව වහාම විසඳීම, ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමග වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් ඊට ඇතුළත් වේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ ඊයේ(23) පෙරවරුවේ දිවුරුම්දීමෙන් පසු මහනුවර නගරයට පැමිණියේය.
ජනාධිපතිවරයා දළඳා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණි අතර එහිදී එහි සිටි සැදැහැවතුන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
පසුව ජනාධිපතිවරයා දළදා සමිඳුන් වන්දනා කොට ආශිර්වාද ලබාගත්තේය.
ජනාධිපතිවරයා දළදා මාළිගාවේ අමුත්තන්ගේ සටහන් පොතේ විශේෂ සමරු සටහනක් තැබුවේය.
ජනාධිපතිවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමග සුහද කතාබහක ද නිරත විය.
දළදා සමිඳුන් වැඳපුදා ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
මේ අතර ජනාධිපතිවරයා මහනුවර පුල්ලෙයාර් කෝවිලට පැමිණ හින්දු ආගමික ආශිර්වාදය ලබාගත්තේය.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා කොළඹ දවටගහ මුස්ලිම් දේවස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.