යුක්රේන යුද්ධයේ තීරණාත්මක වෙනසක් මෙන්ම එහි අනතුරුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි පියවරක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (18) වාර්තා කර තිබේ.
ඒ අමෙරිකාව විසින් සපයනු ලබන දිගු දුර මිසයිල ඇතුළු නවීන යුද අවි රුසියානු භූමිය තුළට එල්ල කිරීම සඳහා යුක්රේනයට අවසර ලබාදීමයි.
රුසියාව එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ තමන්ට වාසිදායක තත්ත්වයක් ලබාගැනීමට නම් මේ ආකාරයෙන් අමෙරිකානු මිසයිල රුසියානු භූමියේ අභ්‍යන්තරයට එල්ල කිරීමට හැකියාවක් තිබිය යුතු බව යුක්රේන ජනාධිපති වොලොඩොමීර් සෙලෙන්ස්කි බොහෝ කලක සිට දැරූ මතයකි.
එහෙත් යුද්ධය ව්‍යාප්ත වීමේ අවදානම මෙන්ම රුසියාව සිදුකරන අනතුරු ඇඟවීම් හමුවේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්රේනයට මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලබා නොදීමට පියවර ගෙන තිබුණි.
විචාරකයන් මෙය හඳුන්වා දී ඇත්තේ ජනපති බයිඩන් විසින් මේ වන විට ගෙන ඇති තීරණය යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන වෙනසක් ලෙසය.
ජනපති බයිඩ්න් මේ තීරණයට එළඹී ඇත්තේ ජනාධිපතිරණයෙන් ඩිමොක්රටික් අපේක්ෂිකා කමලා හැරිස් පරාජයට පත්වී යුක්රේන යුද්ධය නවතන බව කියන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්ව ඇති පසුබිමක වීම විශේෂ කරුණකි.
එහෙත් ලබන ජනවාරි 20 වැනිදා ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිවුරුම් දෙනතුරු අමෙරිකාවේ සේනාධිනායකයා ලෙස තවදුරටත් කටයුතු කරනුයේ වත්මන් ජනපති ජෝ බයිඩන් ය.
මේ නිසා ඔහු ගන්නා පියවර එළඹෙන ට්‍රම්ප් පරිපාලනයට බලපාන්නේ කෙසේද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.
දේශපාලන විචාරකයන් පැවසුවේ ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූ පසු බයිඩන්ගේ මෙම තීරණය වෙනස්කරන්නේද යන්න පැහැදිලි නොමැති බවය.
කෙසේ නමුත් අමෙරිකානු අනුමැතිය ලැබීමත් සමග යුක්රේනය රුසියාව අභ්‍යන්තරයට අමෙරිකානු අවි වලින් පහරදීම කඩිනමින් ආරම්භ කරනු ඇති බව ද වාර්තා වේ.
එහෙත් ආරක්ෂක හේතූන් මත එම ප්‍රහාරක සැලසුම් මාධ්‍ය වෙත අනාවරණය කර නොමැත.
යුක්රේනයට අමෙරිකානු අවි රුසියාව අභ්‍යන්තරයට එල්ල කිරීම සඳහා අවසර දීමට බලපා ඇති එක් කරුණක් ලෙස විචාරකයන් පෙන්වා දී ඇත්තේ උතුරු කොරියානු හමුදා රුසියාවේ සහායට පැමිණීමය.
එය අනතුරුදායක ප්‍රවණතාවක් ලෙස අමෙරිකාව ඇතුළු බටහිර රටවල් හඳුන්වා දී තිබේ.
අමෙරිකාවෙන් ලැබුණු අනුමැතිය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අනාවරණය කළේ අමෙරිකානු මිසයිල යුද්ධයේ වෙනසක් ඇතිකරනු ඇතැයි පවසමිනි.
එහෙත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය හෝ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
රුසියානු ජනපති පුටින්ගෙන් නැතහොත් ක්‍රෙම්ලින් මන්දිරයෙන් අමෙරිකානු පියවරට කඩිනම් ප්‍රතිචාරයක් දක්වා නැතත් ඒ සම්බන්ධයෙන් රුසියානු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් අදහස් දක්වා තිබුණි.
කෙසේ නමුත් යුක්රේනයට මෙවැනි අවසරයක් ලබාදුනහොත් එය අනතුරුදායක ලෙස ගැටුම් උත්සන්න කිරීමක් වනු ඇති බවට ක්‍රෙම්ලිනය මීට පෙර අනතුරු අඟවා තිබුණි.
ජනපති බයිඩන්ගේ නව තීරණය පිළිබඳව රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රණ සභාවේ ජාත්‍යන්තර සබඳතා කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී ව්ලැදිමීර් ජබාරෆ් ප්‍රකාශ කළේ එම පියවර තුන්වැනි ලෝක යුද්ධයට මුල්විය හැකි බවය.
අමෙරිකානු පියවර යුක්රේනයේම විනාශයට හේතුවනු ඇති බව රුසියානු පාර්ලිමේන්තුවේ ෆෙඩරේෂන් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආන්දේ ක්ලිෂාස් ප්‍රකාශ කළේය.
යුක්රේනය විසින් මුලින්ම අමෙරිකානු ඇටකැම්ස් (ATACMS) මිසයිල යොදාගනිමින් රුසියාවේ ආසන්නයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඇටකැම්ස් මිසයිලවලට කිලෝමීටර් 300ක පමණ දුරින් පිහිටි ඉලක්කයකට වුවත් ප්‍රහාර එල්ල කළ හැකි නිසා මෙය යුද්ධයේ තීරණාත්මක අවියක් විය හැකි බව නොරහසකි.
එහෙත් එවැනි ප්‍රහාරයකදී රුසියාව කොයි ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවිද යන්න කිසිවෙකුට අනුමාන කළ නොහැකි කරුණකි.
ඊට හේතුව වී ඇත්තේ ලෝකයේ විශාලතම න්‍යෂ්ඨික බලවතා රුසියාව බැවිණි.
යුක්රේනයට අමෙරිකානු දිගු දුර මිසයිල රුසියානු භූමිය අභ්‍යන්තරයට එල්ල කිරීම සඳහා අමෙරිකානු අවසරය හිමිවී ඇත්තේ රුසියාව විසින් යුක්රේන අගනුවර බලශක්ති මර්මස්ථාන වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගය.
මිසයිල 120ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා 90ක් පමණ යොදාගනිමින් රුසියාව ඊයේ (17) එල්ල කළ එම ප්‍රහාරයේදී යුක්රේනයේ බලශක්ති සැපයුම් පද්ධතියට විශාල හානි සිදුව ඇති බව වාර්තා වේ.
ශීත ඍතුව ආසන්නයේ එල්ලවූ මෙම ප්‍රහාරය යුක්රේනයට දැරිය නොහැකි පාඩුවක් මෙන්ම ඔවුන් දැඩි අසීරුතාවකට පත්වීමක් බව පැහැදිලි කරුණකි.