දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් වචන හුවමාරුවක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ මධ්‍යස්ථානයට අඹ විකිණීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද (21) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ එළවළු, පළතුරු අලෙවිකිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමත් සමග මෙම තත්ත්වය ඇති වී ඇත.

එමෙන්ම එම ක්‍රමවේදය නොසලකාහරින වෙළෙඳසැල් හිමියන්ගෙන් වෙළෙඳ සංගමය දඩ මුදලක් අයකිරීමටත්, වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමටත් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

කෙසේ නමුත් වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට ගෙනඇති තීරණය නිසා උදෑසන අඹ අලෙවිකිරීම සඳහා පැමිණ සිටි වෙළෙන්දන්ව එම ස්ථානයෙන් ඉවත්කිරීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියටද මැදිහත්වීමට සිදුව තිබේ.

අඹ අලෙවිකිරීම සඳහා පැමිණෙන වෙළෙන්දන් සඳහන් කර සිටියේ, ඔවුන් ඉතා මහන්සියෙන් රැගෙනඑන අඹ අලෙවිකිරීම සඳහා ස්ථානයක් නොමැති නිසා වෙළෙඳසැල් ආසන්නයේ ලොරි රථවල සහ බිම තබාගෙන අඹ අලෙවිකිරීම සිදුකරන බවය.

ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සී. එස්. සිරිවර්ධන මහතා කියා සිටියේ, එක් එක් ස්ථානවල අඹ අලෙවිකිරීම නිසා අනෙකුත් ගොවීන්ට මෙන්ම එළවළු මිලදී ගැනීමට පැමිණෙන අය අපහසුතාවට පත්වන බවයි.

මෙම අඹ අලෙවිකරණ ක්‍රමවේදය නිසාවෙන් රථවාහන තදබදයක් ද ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත ඇතිවෙන නිසා මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය නිසා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කටයුතුවලටද බාධා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *