පවතින අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන දැවි තෙල් (Furnace oil) බාහිර පරිසරයේ ඇති ජලය සමග එකතු වී තිබේ.
ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි (Separator Tanks) තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම තෙල් කාන්දුව සිදුව ඇත.
වර්ෂාවත් සමග සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් ඇති වී ඇති අතර, වැසි ජලය සමග මිශ්‍ර වී ඇති මෙම දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වි කැළණි ගඟේ ජල මට්ටම අඩු වීමත් සමග පට්ටිවෙල ඇල හරහා කැළණි ගඟට එක් වීමේ අවධානමක් ඇති අතර දැවි තෙල් මිශ්‍රිත ජලය කැළණි ගඟට එක් වුවහොත් කැළණි ගඟ මගින් ජලය ලබා ගන්නා බියගම හා අඹතලේ ජලපවිත්‍රාගාර මගින් පානීය ජලය බෙදාහැරීමට ඇතිවිය හැකිය.
කෙසේ වෙතත් එම බලපෑම මැඩපැවැත්වීමට මෙන්ම ප්‍රදේශයේ සිදු විය හැකි පාරිසරික බලපෑම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (04) සවස විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදි.
ඒ අනුව දැවි තෙල් මිශ්‍රිත ජලය පැතිරයාම වැළැක්වීමට පාවෙන ඉන්ධන බාධක (Floating Boom) යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මගින් (Oil Skimmer) පෙරා ඉවත් කිරීමේ කටයුතු නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිටත් සිදු කරමින් පවතී.




