Headlines

    කසළ මඟින් විදුලිය නිපද වීම ශ්‍රීලංකාවේ ආරම්භ කරයි – පෙබරවාරි 17 අගමැති සුරතින් ජනතා අයිතියට..

    ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ කසළ මඟින් විදුලිය නිපදවීමේ ව්‍යපෘතියක් ආරම්භ කර ඇති අතර එය ලබන 17 වැනි දින අගමැති සුරතින් ජාතියට දායාද කරන බවය.

    “අද වනවිට සමස්ත දිවයිනටම කසළ විශාල ගැටළුවක් වෙලා තියෙන්නේ. කසල ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් සමගින්ම කසල වලට ආර්ථිකමය වටිනාකමක් එකතු කරන්න, ඉවතලන කසල යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කරන්න අපි දැන් සුදානම්. ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසල යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය, හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේදී මේ මස 17 දින  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජාතික පද්ධතියට එක් කෙරෙනවා” යැයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය තුළ සාම්ප්‍රදායික විදුලි උත්පාදනයෙන් ඔබ්බට ගිය නවමු ක්‍රමෝපායන්ගෙන් සැදුම්ලත් විදුලි උත්පාදන ක්‍රියාවලියක මංසලකුණු දක්වා ඇති අතරම වසර 2023 වනවිට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අභියෝගය විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමා වෙත ලබාදී ඇති බව ප්‍රකාශකර අමාත්‍යවරයා, එම අභියෝගය ජය ගනිමින් විදුලි පාරිභෝගික ජනතාව වෙත අඛණ්ඩ, ගුණාත්මක, විශ්වාසදායි මෙන්ම ලාභදායි විදුලි සේවාවක් සැපයීම තමා සතු වගකීම බවද පැවසුවේය. ඒ අනුව ඉදිරියේදී කසල මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය මෙන්ම ජීව වායු (බයෝගෑස්) මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය, දිස්ත්‍රික් මට්ටමෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසයි.

    මීට අමතරව දිරාපත්වන කසල යොදා ගනිමින්, බයෝගෑස් මගින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට ද විදුලිබල අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර එය මාතර දිස්ත්‍රික්කයේ කොටවිල ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින් දෛනිකව කසල ටොන් 40 ක් යොදාගනිමින්, කිලෝවොට් 400 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති බවත් මේ වසරේ ඔක්තෝම්බර් මස වන විට මෙම ව්‍යාපෘතිය සක්‍රීය තත්ත්වයට පත් කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *